Gem and Law of Attraction

මැණික් ව්‍යාපාරය තුළින් ලැබූ අභිප්‍රේරණය ( Motivation ) හා ආකර්ෂණ නීතිය ( Law of Attraction ) ක්‍රියාත්මක වූ ආකාරය මාගේ අත්දැකීම් මත ලියමි.

මැණික් ව්‍යාපාරය තුළින් ලැබූ අභිප්‍රේරණය ( Motivation ) හා ආකර්ෂණ නීතිය ( Law of Attraction ) ක්‍රියාත්මක වූ ආකාරය මාගේ අත්දැකීම් මත ලියමි. මෙය මාගේ පෞද්ගලික අත්දැකීම් මත ලියන ලිපියක් මිස කිසිවකු අවතක්සේරුවට හෝ වර්ණනාවකට ලක් නොකිරීමකි. අන් අයට ව්‍යාපාර සාර්ථක වීමට දැනුම ලබා දෙන අතරේ ලංකාව තුළ බොහෝ දෙනා කතා නොකරන ආකර්ෂණ නීතිය, ධනාත්මක සිතුවිලි හා අභිප්‍රේරණය සම්බන්ධ සරල පැහැදිලි කිරීමක් කිරීමට උත්සාහ කිරීමකි. උදාහරණයක් ලෙස, මැණික් ව්‍යාපාරයේ නොවුනද සාමාන්‍ය ජීවිතයේ දී සිරගෙවල්වල සිටිමින් රඟපෑම් සිදු කළ අයකුට පසුකාලීනව සැබෑ ලෙසම සිරගත වීමට සිදුවන බව මා මෑත කාලයේ සමාජ මාධ්‍ය තුළින්ම දුටුවෙමි.මනසින් අල්ලා ගත් දෙය සැබෑ ලෙසම කුමන ක්‍රමයකින් හෝ සැබෑ ජීවිතයේ දී ඒ ආකාරයට අත්විඳිය හැක.විශ්වය අපට ලබා දෙන්නේ අප මනසින් දකින, ඉල්ලන හොඳ හෝ නරක යන ඕනෑම දෙයක්ය. මැණික් ව්‍යාපාරිකයින් අතර ඉතාමත් විශාල දේපලක් මෙන්ම මුදල් යාන වාහන ඉතුරු කරගත් දියුණු වූ දානපතියන් අතරට යන පිරිසක් මෙන්ම එදිනෙදා ගෙදර වියදම සොයා ගැනීමට වෙළඳාමට පැමිණෙන පිරිස අතර ඇති වෙනස ඔබ දැක තිබෙනවාද? මෙහිදී Comfortable Zone නැතහොත් සුවපහසුව පමණක් බලාපොරොත්තු වූ අති දැවැන්ත කැප කිරීමක් සිදු නොකළ හෝ එවැනි මානසිකත්වයක නොසිටින බොහෝ දෙනා එදිනෙදා වියදම පමණක් සොයා ගැනීමට මැණික් ව්‍යාපාරය කරන අය අතරට යොමු වී ඇත. ඔවුන් බොහෝ විට ක්‍රියා කරන්නේ සෘණාත්මක මානසිකත්වයකින් නිසා ඔවුන්ට ආකර්ෂණය වන්නේද එම රාමුව තුළ ඇති දේවල් පමණය. ඔවුන්ගෙන් නිතරම අසන්නට දකින්නට ලැබෙන්නේ, අද නම් හොඳ දවසක් නෙවෙයි, මේ දවස්වල නම් හරිම අමාරුයි, හැමදේම ගණන්, රට ඉවරයි, අර සල්ලි තියෙන මුදලාලිට මොකටද ඒ තරම් මුදල්, අපි ඒ කාලේ අඩුවට වික්ක මැණික් අද තිබ්බනං කොයිතරම් වටිනවද, අන්න අර මුදලාලි මම නිසා තමයි ගොඩ ගියේ, මෙවැනි බොහෝ අඳෝනා මෙන්ම ඔවුන්ගේ ආත්මය පුරාම සෘණාත්මක සිතුවිලි පිරි පවතී. එය ඔවුන්ගේ වරදක් නොව ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාවේ මානසිකත්වය ලෙස මා දකිමි. කිමද මා ව්‍යාපාරික ලොවට පිවිසුණේද මෙවැනි පරිසරයක් තුළින් ඇසුන අඳෝනා තුළිනි. එමෙන්ම හෙට දිනයේද වෙළඳපොල තුළ දී ඒවා අසන්නට සිදුවනවාය. මෙම රටෙහි ප්‍රශ්න මා හට දැනුම් තේරුම් ඇති කාලයේ සිටම තිබුන ඒවාය. කුඩා කල සිටම ප්‍රවෘත්ති තුළින් මෙන්ම සමාජය තුළින් ද අසන්නට දක්නට ලැබුණේ සෘණාත්මක දේවල්මය. එමෙන්ම මුල් කාලයේ සියලු දේවල් අවදානමට ලක්කර සියලුම කාලය මැණික් ව්‍යාපාරය වෙනුවෙන් කැපකර එකදිගට දැඩි අධිෂ්ඨානයකින් අදටත් උදෑසන හතර පහ වන විට තමන්ගේ ව්‍යාපාර ආරම්භ කර වාසනාව උරගා බලන ව්‍යාපාරිකයින් තුළින් මෙවැනි අඳෝනා මා හට නො ඇසෙන තරම්ය. ඔවුන්ට බොහෝ විට වාසනාව උදා වන්නේ ධනාත්මක මනසකින් යුතුව හොඳ තත්වයේ මැණික් ගලක් තමා අතට ලැබෙනවා යන දැඩි විශ්වාසය මත විශ්වයට මුදාහරින ධනාත්මක සිතුවිලි මතය. එමෙන්ම ඔවුන්ගේ දැඩි අවධානය (focus) යොමුවී තිබෙන්නේ විශාල ලාභයක් ලැබිය හැකි හොඳ මිණිකැටයක් කෙරෙහිය. එවිට අහඹු ලෙස හෝ මොනයම් ක්‍රමයකින් හෝ යම් කිසිවෙකු අතට ලැබුන මැණිකක් මෙම මානසිකත්වයේ සිටින අය අතට ආකර්ෂණය වනවා, මිලදී ගන්නට ලැබෙනවා මා අත්දැක ඇත. ඔවුන් අඳෝනා නගනු වෙනවට ලැබෙන සෑම අවස්ථාවක්ම ව්‍යාපාරය දියුණු කිරීමට තමාගේ අරමුණ වෙත යාමට භාවිතා කරනවා මා අත්දැක ඇත. තමාගේ දියුණුවේදී අන් අය එල්ල කරන සියලූ චෝදනා දරාගෙන, තම අරමුණ කරා ගිය අය මැණික් කර්මාන්තයේ දී මා දැක ඇත. ඔවුන් බොහෝදෙනා රත්න විද්‍යාව හෝ මැණික් හඳුනා ගැනීම කෙරෙහි මහා පරිමාණයෙන් හැදෑරීම සිදුනොකල අයයි. නමුත් ඔවුන් තුළ දැඩි ආත්ම විශ්වාසය, කැපවීම හා අභිප්‍රේරණය දැඩිව ඇත. මෙහිදී නවක ව්‍යාපාරිකයින් හට මා හට පැවසීමට උවමනාව වූයේ ඔබ සාමාන්‍ය වෙළඳපොලේ දී දකින රාමුවෙන් පිටතට සිතන්න. දියුණුවේ හිණිපෙත්තට ගිය අය එතනට ළඟා වූයේ කෙසේද යන්න සොයා බලන්න. ඔබගේ ගුරුවරුන්,උපදේශකයින් ඒ ආකාරයට ක්‍රියා කරනවාද යන්න සොයා බලන්න. එමෙන්ම ඒ වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් කරන්න. කිසිවිටෙක අන් අය විවේචනය වෙනුවට තම අඩු පාඩු හදා ගැනීමට උත්සුක වන්න. සියලු මනුෂ්‍යයෝ සර්ව සම්පූර්ණ නොවන අතර මානසික අතින්ද විවිධ මට්ටම්වල සිටි. මා මෙම ව්‍යාපාරයේදී අසාධාරණයට ලක්වූ අවස්ථාවල ඔවුන් සමග ගැටීම වෙනුවට ඔවුන් අතහැරීම සිදු කළ අවස්ථා බොහෝ ඇත. නමුත් ඔවුන්ගේ මට්ටමට මා කිසිදු විටක පත් වී නොමැත. හුදකලා බව බොහෝ ප්‍රිය කිරීමට එයද හේතුවක් වී ඇත. ඒ තුළින් ලැබෙන ශක්තිය අන් අයට තව තවත් උදව් කිරීමට මෙන්ම මාගේ අඩුපාඩු හදා ගැනීමටද, ව්‍යායාපාරය දියුණු කිරීමටද යොදාගෙන ඇත. ප්‍රතික්ෂේප වීම හොඳම අභිප්‍රේරණය ලෙස සර්ව සම්පූර්ණව අත්දැක ඇත. එමෙන්ම අපට යම්කිසි අසාධාරණයක්,අනවශ්‍ය බලපෑමක් සිදු කරන අය අපව දැනට සිටින මට්ටමින් ඔසවා තැබීමට ලබාදීමට කරන පීඩනය වෙනුවෙන් ඔවුන්ට හදවතින්ම ස්තූති කිරීමට මා කිසිදු දිනක අමතකකර නොමැත. ඉතින් කර්මානුරූපීව ජීවිතය හැඩ ගැසෙනවා හා සමානවම ධනාත්මකව සිතන අය අතට අවශ්‍ය මුදල් හා සිතූ පැතූ දේවල් ආකර්ෂණය වන බව සමාජය තුළින්ම ඕනෑතරම් උදාහරණ ඔබට දැකිය හැක.මා කුඩා කල සිටම මැණික් ව්‍යාපාරය තුලින්ම පිරිසක් කෝටිපතියන් වනු මෙන්ම දිළිඳු බවට පත්වනවාද දැක ඇත. මෙය කෙටියෙන් අවසන් කිරීමට කැමැත්තෙමි. එමෙන්ම මැද මාවතේ ගමන් කළ හැකි නම් අන් අයට අසාධාරණයක් නොකර ධනාත්මක මනසකින් අවශ්‍ය පමණට සැපසම්පත් ලබාගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට හැකිනම් මැණික් කර්මාන්තය යනු ඔබගේ ජීවිතයේ වාසනාව උරගා බැලීමට හොඳ ඉල්ලමක් බව මාගේ අත්දැකීම් අනුව සඳහන් කිරීමට කැමැත්තෙමි. අසාධාරණව අන් අයව රවටා,තළාපෙළා මුදල් ඉපයූ අය ජීවිතයේ අවසාන කාලයේ දී මෙන්ම බොහෝ අවස්ථාවල දී දුක්ඛිත ලෙස ජීවිතය අවසන් කරනවා දැක ඇත. ඔබ මුදාහරින ධනාත්මක හෝ සෘණාත්මක දේවල් දෙගුණ තෙගුණ වී ඔබට ලැබෙනවා කිසිවකුට නැවැත්විය නොහැක. ආකර්ෂණ නීතිය සර්ව සාධාරණය. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! Article Prepared by : සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman: Gemological Institute of Ceylon Chairman: Youth Gem Professionals Association Chairman: Sampath Gems Director: Ceylon Sapphire Gems and Jewels Chairman: Nanosoft Web Develop Company Direct WhatsApp: https://wa.me/message/2A4AUALYVQWRA1 අපගේ වෙබ් අඩවි / Websites : www.giceylon.com www.bluesapphire.lk www.gemluck.com අපගේ facebook පිටුව හා සමූහය : https://www.facebook.com/giceylon/ https://www.facebook.com/groups/1990653001208203/?ref=share අපගේ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර උදව් telegram සමූහය සමග පහතින් සම්බන්ධ විය හැක / Join with Gem and Jewellery Business Help and Discussion Group on Telegram : https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA All images and text content Copyrighted ©️[learn_press_profile]