ව්‍යාපාරිකයෙකු ලෙස මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේදී ඔබ ආයෝජනය කළ යුත්තේ කුමන මැණික් වලටද? කොපමණ කාලයකින් මෙම ව්‍යාපාරය ඉගෙනගත හැකිද?

මෙම ලිපිය විශේෂයෙන් ආධුනිකයන් වශයෙන් දින කිහිපයකින් මැණික් ව්‍යාපාරය ඉගෙනගෙන ධනවතුන් වීම සඳහා වෙළඳපොළට පැමිණෙන ඔබ සඳහාමය. මා මෙම ව්‍යාපාරයේ පූර්ණකාලීනව වසර 12ක පමණ කාලයක් නිරතවෙමි. නිවිතිගල, රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, හැරනියාවක, ඇඹිලිපිටිය, බඩල්කුඹුර, කලවාන, ඔක්කම්පිටිය හා තවත් බොහෝ තැන්වල වසර පහක් තිස්සේ වෙළෙඳපොළ වෙත යාමට මෙන්ම විශ්වවිද්‍යාල බඳු ඒවායේ අත්දැකීම් ලබා ගැනීමට මාහට හැකියාව ලැබිණි. වසර පහක පමණ වෙළෙඳපොල ප්‍රායෝගික පුහුණුවෙන් පසුව තමන්ගේම කියා ස්ථානයක ව්‍යාපාරයක් පටන්ගෙන කලින් ලබා ගත් අත්දැකීම් හා වර්තමාන ලෝකයේ අන්තර්ජාලය තුළින් ලබාගත් මෙන්ම විදේශිකයන් විශාල ප්‍රමාණයක් සමග හුවමාරු කරගත් දැනුමද ව්‍යාපාර කිරීමේ අත්දැකීම්ද ලබාගෙන අද දිනය තුළත් මෙම ව්‍යාපාරය තවදුරටත් ඉගෙන ගනිමින් සිටිමි. මේ දැවැන්ත ව්‍යාපාරය තුළ මමත් ශිෂ්‍යයෙකි. එහිදී මා දුටු විශේෂ කරුණක් නම් වැඩි අවදානමක් ගෙන, විශාල කාලයක් කැපකිරීමෙන් ගෙවුඩ කර්මාන්තයට අවතීර්ණවූ ව්‍යාපාරිකයින් මෙම කර්මාන්තයේ සුපිරි ධනවතුන් බවට පත්වී ඇත. එනම් ගෙවුඩ ලෙස වර්ගීකරණය කරන කොරන්ඩම් පවුලේ මැණික් තාපකරණයෙන් නිල් මැණික් බවට පත් කළ පිරිස මෙන්ම ඒ සඳහා ආයෝජනය කළ අයද විශාල මුදලක් උපයා ඇත. එමෙන්ම සංචාරක කර්මාන්තය හා සම්බන්ධවී මැණික් හා ස්වර්ණාභරණ විකුණූ අය ද විශාල වශයෙන් මුදල් උපයා ඇත. එහිදී එම සංචාරකයින් ශ්‍රී ලංකාවේ මිල ගනන් ඔවුන්ගේ රටවල මිල ගනන් හා සසඳා විශාල මිලක් දී මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගනියි. ජාති ගල් ( Precious Gemstones ) විශේෂයෙන් ස්වභාවික තත්වයේම තිබෙන නිල් ,රතු ,පසින්ගල් ,වෛරෝඩි, ආර්නූල්,මැණික් කපා ඔපදමා විකුණූ අයද ඊළඟ අදියරේ දී සාර්ථක වූ අය ලෙස දැකගත හැක. එමෙන්ම පුෂ්පරාග හා රෝස පැහැති කොරන්ඩම් පවුලේ වැනි මැණික් විකිරණවලට ලක් කිරීමෙන් වර්ණය වැඩි කර අපනයනය කළ අයද විශාල වශයෙන් මුදල් උපයන අතර ඔවුන්ගේ පැවැත්මක් නොමැත. හේතුව ඔබට සිතා ගත හැකි බව මා සිතමි. එමෙන්ම රබහ, තෝරමල්ලි, ජාගූන් ,පඩියම් වැනි Semi Precious ලෙස සලකන මැණික් මිලදීගෙන විකුණන අය ද යම් කිසි මට්ටමක රඳා පවතී. නමුත් වෙනත් රටවල විශාල වශයෙන් මෙවැනි මැණික් හමුවන නිසා ලොකු ලාභයක් ලබාගත නොහැක. මෙයට අමතරව දුර්ලභ මැණික් එකතු කරන අය සිටියද ඔවුන් ව්‍යාපාරිකයින් වශයෙන් ශ්‍රී ලංකාව තුළ සාර්ථකවනවා මා දැක නොමැත. නමුත් එදිනෙදා වෙළඳපොලේ දුර්ලභ මැණික් ඇත. හඳුනාගත හැකි නම් ඔබත් ජයග්‍රාහකයෙකි. මෙයට අමතරව තැරැව්කරුවන් වශයෙන් වැඩ කරන පිරිසද බහුතරයක් එදිනෙදා ජීවනෝපාය සඳහා අවශ්‍ය මුදල උපයා ගනියි. එමෙන්ම මැණික් කර්මාන්තයට අවශ්‍ය උපකරණ හා සේවා සපයන අයද, තාපකරණය වැනි කටයුතු කරන අයද සාර්ථක වීඇති උදාහරණ ඕනෑතරම් වෙළඳපොළෙහි ඇත. ඉහත සටහන මාගේ ප්‍රායෝගික මැණික් ව්‍යාපාරික ජීවිතයේ අත්දැකීම් වනඅතර ඔබ දන්නා විශේෂ දෙයක් තිබේනම් Comment කිරීමෙන් මෙම ව්‍යාපාරයට නවකයන් වශයෙන් බොහෝ බලාපොරොත්තු තබාගෙන පිවිසෙන අයවෙනුවෙන් සටහන් කරන මෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන් පැවසිය යුත්තේ ඔබට ප්‍රායෝගික අත්දැකීම් ලබාගෙන විශ්වාසයක් දැනෙන තුරු ආයෝජනය කිරීමෙන් වළකින ලෙසයි. දලං හෝ වටිනාකමින් අඩු මැණික් මිලදීගෙන ව්‍යාපාරිකයන් වශයෙන් සාර්ථක වූ පිරිසක් මා දැකනොමැත. එමෙන්ම වෙළඳපොළට පැමිණීමේදී නිසි ආලෝක ප්‍රභවයක් රැගෙනවිත් ගල්වල පලුදු දෝෂ හා නිවැරදි වර්ණය දැක මැණික් මිලදීගන්න. තවත් කෙනෙකු කියූ පමණින් නොව ඔබට විකිණිය හැකි මැණික් පමණක් මිලදී ගන්න. විශේෂයෙන් මැණික් වෙළෙඳපොළේදී මා නවකයින් විශාල පිරිසක් දැකඇත. ඔවුන්ව වටකරගෙන හෝ ඔවුන්ට ආදරයෙන් කතා කරන්න තැරැව්කරුවන්ද බොහෝ දැකඇත. වෙළඳපොලේ නොවිකිණෙන ගෝමේද,රබහ, කළු කිරිංචි, දලම් කියා වර්තමානයේ පවසන නොවටිනා තත්වයෙ මැණික් තොග හොඳ මිලට විකිණීමට තැරැව්කරුවන් දරන උත්සාහය අලෙවිකරණ උපාධියකින් පවා ඉගැන්විය හැකිද යන්න මා විටෙක කල්පනා කරමි. කණගාටුවට කරුණ නවකයින්ගෙන් බහුතරයක් කෙටි කාලයකින්ම අතුරුදහන්වීමයි. මෙයට ප්‍රධානතම හේතුව ඔවුන් සතු ප්‍රාග්ධනය ඉක්මනින් ඉවරවීම ලෙස මා බොහෝ නවකයින්ගෙන් විමසා දැන ගත්තෙමි. එමනිසා ගමන් වියදම් ගියාට ව්‍යාපාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනතුරු ආයෝජනය කිරීමෙන් වළකින ලෙස නැවතත් අවධාරණය කරමි. සියලු දෙනාට ජය වේවා!!!. තෙරුවන් සරණයි!!! Article Prepared by : සම්පත් සමරසේකර Sampath Samarasekara Chairman: Gemological Institute of Ceylon Chairman: Youth Gem Professionals Association Chairman: Sampath Gems Director: Ceylon Sapphire Gems and Jewels Director: Ceylon Gem Fair International Chairman: Nanosoft Web Develop Company[learn_press_profile]